Sunday, August 14, 2016

සන්නිවේදන අධ්‍යයනයෙහි න්‍යායාත්මක අභිවර්ධනය

සන්නිවේදන අධ්‍යයනයෙහි න්‍යායාත්මක අභිවර්ධනය

කවර විෂය ක්ෂේත්‍රයකට වුවද සිද්ධාන්ත අත්‍යාවශ්‍ය වේ. සිද්ධාන්ත යනු සමාජ ශාස්ත්‍රවල අත්‍යාවශ්‍යය සංචරකයකි. සිද්ධාන්ත ගොඩ නැගීමට නම් ක්‍රමවත් අධ්‍යයනයක් අත්‍යාවශ්‍ය වේ. එනම් සිද්ධාන්ත ගොඩ නැගෙන්නේ අඛණ්ඩ පර්යේෂණ කිරීම තුලිනි. සිද්ධාන්ත හා ගැටලු හදුනා ගැනීමට න්‍යායන් අවශ්‍යය වේ. එසේම සිද්ධාන්ත හා පර්යේෂණ අතර මනා සබදතාවක්ද පවතී. කිසියම් සංසිද්ධියක් පිලිබද සංකල්පිත විවරනයක් නිර්මානය කිරීම සිද්ධාන්ත මගින් සිදු වේ. මහාචාර්ය ෆෙඩ්කර්ලි විසින් සිද්ධාන්තයක් පිලිබදව පහත නිර්වචනය ඉදිරිපත් කර තිබේ. " අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා සම්බන්ධ වන සංකල්ප, අර්ථකතන ඉතාම විධිමත් ලෙස ක්‍රමානුකූලව යොදා ගන්නා ප්‍රස්තුතය හා සංසිද්ධිය පැහැදිලි කිරීම සිද්ධාන්තයක තිබිය යුතුය. සිද්ධාන්ත යනු කිසියම් ආකාරයක සංකල්පිත අර්ථකතනයකි. නමුත් එය වර්ධනය වූ තත්වයකි."
මේ අනුව සිද්ධාන්ත යනු සමාජ ශාස්ත්‍ර විෂයක ඉදිරි ප්‍රගමනය විෂයෙහි පදනම සකසන්නාවූ වැදගත් සංචරකයක් ලෙස හදුනා ගත හැකිය. මේ අනුව සමාජ ශාස්ත්‍ර විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යයන නම් නව විශය ක්ෂේත්‍රය පිලිබද විමසීමේදී එහි න්‍යායාත්මක අභිවර්ධනය පිලිබද විමර්ශනය අතිශයින් වැදගත් වේ. සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය න්‍යායත්මකව අභිවර්ධනය වූ ආකාරය පිලිබද මූලික අවස්ථාව මීට ඉහත මාතෘකාවේදීද යම් ප්‍රමාණයකට සාකච්ඡාවට ලක් කෙලෙමු. මෙහිදී එය තව දුරටත් පැහැදිලි කිරීම සිදු කරනු ලබයි.
සන්නිවේදන අධ්‍යයනය න්‍යායාත්මක අභිවර්ධනය පිලිබද විමර්ශනයේදී පහත න්‍යායන් ගොඩ නැගීම තුලින් එහි න්‍යායාත්මක අභිවර්ධනය සිදු විය.
  • මැජික් බුලට් සිද්ධාන්තය
  • පරි‍තෝෂණය සම්බන්ධ සිද්ධාන්තය
  • පුද්ගල විභන්‍යතා සිද්ධාන්තය
  • පුද්ගල බලපෑම පිලිබද සිද්ධාන්තය
  • සන්නිවෙදනයේ දෙපියවර ගලනය පිලිබද සිද්ධාන්තය
  • සන්නිවෙදනයේ බහුපියවර ගලනය පිලිබද සිද්ධාන්තය
  • ප්‍රචාරණය
  • Cultivation theory
  • සන්නිවේදනයේ ප්‍රතීයමානක සිද්ධාන්තය
  • සමාජ ඉගෙනුම් සිද්ධාන්තය
  • ප්‍රජානන විෂමත්ව සිද්ධාන්තය යනු ඉන් කිහිපයකි.
සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී ඇති මූලික පර්යේෂණය වන්නේ හැරල්ඩ් ලැස්වෙල් විසින් සිය ආචාර්ය උපාධි නිබන්ධනය සදහා කල ප්‍රචාරනය පිලිබද පර්යේෂණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිලිබද සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ද වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පලමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්ය උපාධිය සදහා පර්යේෂණ සිදු කල කාලවකවානුවේදීය. එහිදී ඔහු පලමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිලිබදව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිලිබදව සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිලිබද සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේදී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේශන මාර්ගයයි.
ප්‍රචාරණය යනු විවිධ මාධ්‍ය නියොජන [ වාචික, ලිඛිත, පින්තූර, චිත්‍ර හා සංගීත] ආදී විවිධ කලා මාධ්‍ය උපයෝගී කොට ගනිමින් ඒ උපයෝගීතාව මත පදනම්ව මානව ක්‍රියාවන්ට බලපෑම් කිරීමයි. තොරතුරු ලබා දීමට මාධ්‍ය උපයෝගී කර ගනී. එම උපයෝගී කර ගන්නා වූ කලාව ප්‍රචාරණය වේ. ලැස්වෙල්ගේ අධ්‍යයන වැදගත් වන්නේ ප්‍රචාරණ ක්‍රමෝපායන් ගැන අධ්‍යයනය කල බැවිණි. යුද්ධය සදහා ප්‍රචාරණය යොදා ගන්නේ කෙසේද? යන්න සොයා ගත් ශාස්ත්‍රීය ලේඛනයක් ලෙස ඔහුගේ කෘතිය හදුන්වා දීමට පුලුවන.
පසුව මෙම ප්‍රචාරණය සම්බන්ධව ඇති පර්යේෂණ තව දුරටත් අඛණ්ඩව ඉදිරියට ‍රැගෙන යාමට සමජ ශාස්ත්‍ර විද්වතුන් උත්සුක විය. එහිදී ‍රැල්ප් කැසේ මෙම පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙන යන ලදි. සන්නිවේදන පර්යේෂණ ඇමරිකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ප්‍රචාරණය උපයෝගී කොට ගත් ආකාරය පදනම් කරගෙන ඔහු පර්යේෂණ සිදු කරන ලදි. Hadley Cantrel, Leonard doob, Edward යන තිදෙනා දෙවන ලෝක යුධ සංග්‍රාමය සදහා යොදා ගත් ප්‍රචාරණය සම්බන්ධව පර්යේෂණ පවත්වන ලදි.
1937දී "Insitute For Propaganda Analysis" නමින් ප්‍රචාරණ අධ්‍යයනය පිලිබද ආයතනයක් ආරම්භ විය. එම ආයතනය ආරම්භ කිරීමේ මූලික අරමුන වූයේ ප්‍රචාරණය පිලිබද අධ්‍යයනය කිරීම මෙන්ම ඇමරිකානු ජනතාවට ප්‍රචාරණය හා යුද්ධය පිලිබද දැනුවත් භාවයක් ලබා දීම සදහාය. මෙම ආයතනයට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලද්දේ " 20 වන සියවසේ අරමුදල" මගිනි. මෙම ආයතනය මගින් විවිධ දැන්වීම් මගින් මෙන්ම පොත් මගින්ද ප්‍රචාරණය පිලිබද විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන ලදි. මින් ප්‍රධානතම කෘතිය වූයේ 1939 දී "Alfred Me Clung Lee and Elizabeth Briant Lee" යන දෙදෙනා විසින් රචිත "The Five Art Of Propaganda" නැමැති කෘතිය වේ. ප්‍රචාරණය හා සම්බන්ධ ක්‍රමෝපායන් මෙම පොතෙහි අන්තර්ගත වේ. එනම්
  1. නිරන්තර නාම කථනය
  2. සාක්ෂ්‍යකරණය
  3. ධාරානම්‍යතාව
  4. ජ්වලිත ව්‍යාප්ත කරණය
  5. ජනහිතකාමිත්ව ප්‍රදර්ශනය
  6. සමාරෝප්‍යතාව
  7. අනුරූපී මායාව
සන්නිවෙදන අධ්‍යයනය න්‍යායාත්මකව අභිවර්ධනය වීම පිලිබද විමසීමෙදී තවත් වැදගත් සිද්ධාන්තයක් ලෙස "පුද්ගල බලපෑම පිලිබද සිද්ධාන්තය" හදුනා ගත හැකිය. මෙම සිද්ධාන්තය " " යන තිදෙනා විසින් කරන ලද පර්යේෂණ මගින් 1940 දී පමණ සොයා ගන්නා ලදි. මෙම සිද්ධාන්තය ද බිහි වන්නේ මැතිවරණය පරිශ්‍රයේ සිටය. සන්නිවේදනය මගින් පුද්ගල බලපෑම වෙනස් කිරීමට හේතු වනවාද යන්න මෙමගින් සොයා බලයි. මෙම පර්යේෂණය සිදු කරන්නේ ඡන්ද දායකයාගේ මතය හෙවත් කැමැත්ත ජනමාධ්‍ය මගින් වෙනස් කල හැකිය යන මතයක සිටය. නමුත් පර්යේෂණ මගින් අනාවරණය වන්නේ එලෙස වෙනස් නොවන බවය. ජනමාධ්‍ය මගින් කෙරෙන්නේ තමන් තුල පවතින අදහස් තවදුරටත් වර්ධනය කිරීමකි. ඡන්දය දීමේ අභිප්‍රාය යම් පමනකට හෝ වෙනස් වනවා නම් එය සිදුවන්නේ ජනමාධ්‍ය නිසා නොව පුද්ගල බලපෑම නිසාය.එනම් අන්තර් පුද්ගල බලපෑම නිසාවෙනි. මෙය සිද්ධාන්තයේ ස්වභාවයයි. නමුත් මෙය සන්නිවෙදන අධ්‍යයනය න්‍යායාත්මකව අභිවර්ධනය වන මුල් කාලයේ සිද්ධාන්තයක් බැවින් වර්තමානය හා නොගැලපිය හැකිය.
ලැසාස්ෆෙල්ඩ් ඇතුලු පිරිස විසින්ම හදුන්වා දෙන ලද තවත් සිද්ධාන්තයක් වූයේ " සන්නිවේදනයේ දෙපියවර ගලනය පිලිබද සිද්ධාන්තයයි." තොරතුරු ගලනය දිශා දෙකකට සිදුවන බව මෙයින් අදහස් කරයි. ඒ සිරස්ව සහ තිරස්වය. මෙසේ සිදුවේ යැයි මෙහිදී උපකල්පනය කරනු ලබයි. ජනමාධ්‍ය ප්‍රධානීන්ට මුලින්ම තොරතුරු ලැබේ. එනම් මොවුන් මුලින්ම ජනමාධ්‍යයට නිරාවරනය වන බැවිනි. ජනමාධ්‍ය සේවනය කරන ප්‍රමාණය වැඩි නිසා මොවුන් තුල පවතින දැනුමද වැඩි යැයි සැලකේ. ජනමාධ්‍ය මගින් ජනමත ප්‍රධානීන්ට සන්නිවේදනය සිදු වන්නේ තිරස්ව බව උපකල්පනය කරයි. ජනමාධ්‍ය මගින් ජනමත ප්‍රධානීන්ට ලබාදෙන තොරතුරු අනෙක් බහුතර ජනතාවටද ලබා දෙන්නේ තිරස්ව බවටද උපකල්පනය කරයි. ජනමාධ්‍යයට සෘජුවම තම ග්‍රාහකයාට බලපෑම් කල නොහැකිය. මුහුනට මුහුණලා කරන බලපෑම ඊට වඩා ප්‍රබලය. එනම් ජනමත ප්‍රධානීන්ට පණිවිඩය විස්තර කොට ප්‍රකාශ කල හැකි බැවිනි. අනෙක් අතට මෙම ජනමත ප්‍රධානියා සමාජයේ විශ්වාසය දිනාගෙන සිටින අයෙක් වීම නිසා එම විශ්වසනීයත්වයද සන්නිවෙදනයට බලපායි. තොරතුරු බෙදා හැරීමේදී, අර්ථකතනය කිරීමේදී , ව්‍යාප්ත කිරීමේදී ජනමත ප්‍රධානීන් විශාල කාර්ය භාරයක් ඉ‍ටු කරයි. මෙම දෙපියවර ගලන සිද්ධාන්තයේදී ඊට ආවේණික ඌනතාව වන්නේ එමගින් ජනමාධ්‍යවල බලපෑම හීන වී තිබීමයි. නමුත් ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික සංවර්ධනය මූලික අදියරක පැවති එම කාල වකවානුවට මෙම සිද්ධාන්තය ගැලපුනද ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික සංවර්ධනය වර්ධනීය තලයක පවත්නා වර්තමානය තුල මෙම සිද්ධාන්තය ප්‍රායෝගික වූවක් නොවේ.
මෙම සිද්ධාන්තය තව දුරටත් වර්ධනය වෙමින් " සන්නිවේදනයේ බහුපියවර ගලනය පිලිබද සිද්ධාන්තය"බිහි විය. ජනමත ප්‍රධානීන්ට වඩා වැදගත් පිරිසක් සිටින බව මෙම අවස්ථාවේදී මොවුන් විශ්වාස කරයි. ආකාර කිහිපයකින් සන්නිවේදනය සිදුවන බව මෙම න්‍යායෙන් කියවේ. මෙ නිසා බහුපියවර ගලනය ලෙස මෙය හදුන්වයි.එනම් ජනමත ප්‍රධානීන් ඔවුන්ට වඩා බුද්ධිමත් පිරිසකගෙන් තොරතුරු ලබා ගන්නා බව මෙහිදී උපකල්පනය කරයි. මෙය එක්තරා ආකාරයකට කටින් කට සිදුවන සන්නිවේදනයක් වැනිය.
මෙහිදී පියවර සංඛ්‍යාව නිශ්චිත නොවේ. මෙසේ පියවර කිහිපයකින්ම තොරතුරු ගලායාම නිසාම බහුපියවර ගලනය ලෙස හදුන්වයි. ග්‍රාහකයා තොරතුරු ලබා ගන්නේද විවිද ආකාරයටය. මෙම පියවර ගනන තීරණය වීමට සාධක 05ක් බලපාන බව පෙන්වා දෙන ලදි.
  • සන්නිවේදන මූලයේ ඇති අභිප්‍රාය.
  • කොපමන ප්‍රමාණයක් මාධ්‍යය පවතීද?
  • ග්‍රාහක සමූහයාට කෙතරම් දුරට විවෘත විය හැකිද?
  • ඉදිරිපත් කරන සංදේශයේ ස්වභාවය.
  • සන්නිවේදනය කරන සංදේශය ග්‍රාහකයාට කොතරම් දුරට වැදගත් වනවාද යන්න.
ඉහතින් සදහන් කරන ලද සිද්ධාන්ත 03නම බිහිවීමට මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ මැතිවරණයයි. එසේම මේවා එකිනෙකට සම්බන්ද වී පවතින සිද්ධාන්ත ලෙස සැලකීමට පුලුවන. සන්නිවෙදනයේ වර්ධනයත් සමග සන්නිවේදන අධ්‍යනයන් මගින් හදුන්වා දුන් න්‍යයක් ලෙස “ Normative theories" හෙවත් සන්නිවේදනයේ ප්‍රතීයමානක න්‍යාය හදුන්වා දිය හැකිය. ප්‍රතීයමානක න්‍යාය යනු මාධ්‍ය පද්ධතියක් සංවිධානය වීම හා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද පරමාදර්ශී මාර්ගයක් විස්තර කෙරෙන න්‍යායයි. විවිද සමාජීය හා දේශපලනික ක්‍රියා හේතුවෙන් මෙම න්‍යායන් බිහි වී ඇත. 20 වන සියවසේ මුල් භාගයේදී මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය පිලිබද දැඩි සංවාදයක් ඇති විය.මෙම සංවාදවල ප්‍රතිඵලයක් ලෙස පහත න්‍යායන් බිහි විය. ඇමරිකානු සමාජය තුලින් මෙම න්‍යාය බිහි වූ අතර මෙහිදී මාධ්‍ය කිසිදු පාලනයකට ලක් නොවිය යුතු බවට ඇතමුන් තර්ක කරන අතර තවත් පිරිසක් පවසන්නේ කිසියම් ආකාරයක නියාමනයක් මාධ්‍යයට තිබිය යුතු බවයි. කෙසේ වෙතත් මෙම න්‍යාය ප්‍රධාන න්‍යායන් 04ක් මත පදනම් බව "The for theories of the press" නැමැති ග්‍රන්ථයේ "Schramm, siebert and Peterson" යන තිදෙනා දක්වා ඇත.
  1. අධිපතිවාදී
  2. නිදහස් මතවාදී
  3. සමාජ වගකීම් න්‍යාය.
  4. සෝවියට් කොමියුනිස්ට්වාදී න්‍යාය
මීට අමතරව "Denis me quail" විසින් "Mass communication theory" නැමැති පොතෙහි තවත් කරුණු 02 ඉදිරිපත් කරන ලදි. එනම්
  1. සංවර්ධන මාධ්‍ය න්‍යාය
  2. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය
සමාජය තුල මාධ්‍ය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද මෙම න්‍යායන්ගෙන් සාකච්ඡා කෙරේ. අනෙකුත් න්‍යායන්ගෙන් බොහෝ විට අවධාණයට ලක් කර ඇත්තේ මාධ්‍ය හා ග්‍රාහකයා අතර සම්බන්ධයයි. නමුත් මෙම ප්‍රතිමානක න්‍යායෙන් සාකච්ඡා වන්නේ මාධ්‍ය හා ආණ්ඩුව අතර සම්බන්ධය වේ. මෙහිදී මාධ්‍යයේ හිමිකාරිත්වය පිලිබද දැඩි අවධානයක් යොමු වේ.කිසියම් මාධ්‍යයක ක්‍රියාකාරිත්වය සමාජයෙන් ව්‍යුක්තව සාකච්ඡා කල නොහැක.
එසේම කර්ට් ලෙවින් විසින් සිදු කරන ලද ජාලගත පර්යේෂණ විධික්‍රමය සන්නිවේදන අධ්‍යයනය න්‍යායාත්මක අභිවර්ධනය විෂයෙහි විශාල පි‍ටුබලයක් විය. ජාලගත පර්යේෂණ විධික්‍රමය ලෙවිනියානු බලපෑම හේතු කොට ගෙන පැනනැගුණු ඉතා වැදගත් විධික්‍රමයකි.ඇලෙක්ස් බව්වල් විසින් ලෙවින්ගේ මෙම අදහස් තව දුරටත් සංවර්ධනය කර ක්‍රියාවට නගන ලදි. පර්යේෂණාත්මකව නියමිත ජාලයන් උපයෝගී කොට ගනිමින් පර්යේෂණාගරයක සිදු කෙරුණු මෙම අධ්‍යයනය ලෙවිනියානු කණ්ඩායම් ගතික සමාජීය ජාල පිලිබද ගණිතමය පර්යේෂණ දක්වා විකාශනය වීමක් ලෙස දැක්විය හැකිය. ඉහත අධ්‍යයන අවසානයේදී එළබුණු නිගමනය වූයේ සමාජ ජාල පිලිබද සන්නිවේදන ව්‍යුහ ගණිතමය වශයෙන් විශ්ලෙෂණය කල හැකි බවයි.
1950 දශකයේදී සන්නිවේදන අධ්‍යයන සදහා වැදගත් ස්ථානයක් හිමි වූ ප්‍රජානන විෂමත්ව පර්යේෂණ සිද්ධාන්තය මුලින්ම හදුන්වා දෙන ලද්දේ ලෙවින්ගේ දැනුම් සම්භාරය මතින් පෝෂණය වූ ඔහුගේ ශිෂ්‍යයකු වන ලියෝන් ෆෙස්ටින්ගර් විසිනි.ඔහුගේ මෙම සිද්ධාන්තය ගොඩ නැගී ඇත්තේ තවත් සිද්ධාන්ත හා න්‍යායික පර්යාලෝකවල බලපෑමද ලබමිනි. එනම් චාල්ස් ඔස්ගුඩ් සහ පර්සි ටැනන්බැවුම්ගේ අංගසාම්‍ය සිද්ධාන්තය ක්ර්ට් ලෙවින්ගේ ක්ෂේත්‍ර න්‍යාය සහ ලෙවින් තුල වර්ධනය වූ ගෙස්ටාල්ටියානු පර්යාලොකය සහ ෆ් රිට්ස් හීඩර්ගේ සංකූලතා සිද්ධාන්තය පදනම් කොට ගනිමිනි. ප්‍රජානන විෂමත්වයක් ඇති වන්නේ ප්‍රජානන සංචරකයක් එකිනෙක හා ගැටෙන අවස්ථාවේ දීය. ප්‍රජානන විෂමත්වයක් පුද්ගල මනස තුල ඇති විට එම අසහන කාරී බවින් මිදීම සදහා පුද්ගලයා උත්සාහ දරයි. එනම් එකවර මනසට ලැබෙන කඨෝරත්වයක් මනස තුල ඇති වීම ප්‍රජානන විෂමත්වයක් ලෙස හැදින්වේ.
ඉහත ආකාරයට සන්නිවේදන අධ්‍යයනය න්‍යායාත්මකව අභිවර්ධනය වූ ආකාරය පිළිබද විමසීමට ලක් කල හැකි අතර එහිදී පැහැදිලි වන්නේ ඇතැම් න්‍යායන් කාලීන අගයෙන් අඩු බවය. නමුත් මෙහිදී සැලකිය යුතු විශේෂ කරුණ වන්නේ එම න්‍යායන් බිහි වූ අවධිය තුල පැවති සමාජීය, දේශපාලනික, ආර්ථික තත්ත්වයන්ට අනුරූපීව එම බොහෝ න්‍යායන් ගොඩ නැගී ඇති බවය. අනෙක් අතට නව විෂය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස එම න්‍යායාත්මක පදනම සන්නිවේදන අධ්‍යයන විෂයෙහි විශාල පි‍ටුබලයක් වී ඇති බවය.

1 comment:

  1. අැත්තටම මේක උපුටාගත් ලිපියක් ද? ඔබගේම ලිපියක් ද?

    ReplyDelete